සිංහලෙන් ලියන්නෙ කොහොමද? How to write in Sinhala


මේ වැඩේ පටං ගන්නකොටම මතුවෙච්ච ප්‍රශ්නෙ තමයි ඔය. ඉතිං ඉස්සෙල්ලම ඒක‍ට ක්‍රමයක් හොයාගත්තා. දැන‍ට තියෙන සිංහල blog වල විස්තරත් බලපු මට හිතුනා මුලින්ම ඒ ගැන ටිකක් කතා කලොත් හොඳයි කියල.

මුලින්ම කලේ එක එක සිංහල අකුරු ජාති බාගෙන Microsoft Word එකේ type කරන්න හදපු එක. ඉතාම අසාර්ථකයි එක අකුරක් ඇරෙන්න. ඒ තමයි කපුටා.com. බොහොම සරලව හොඳට තියෙන අකුරක් ඒක. එකම අවුල තමයි keyboard එක. ඒක විජේසේකර නෙමෙයි. පටං ගන්නකොට හරිම ලේසියි මොකෝ ඉංග්‍රීසි අකුරෙ ශබ්ද වෙන විදිහට සිංහල අකුරු ගලපලා තියෙන නිසා. උදාහරනයක් ගත්තොත් D අකුර ගැහුවම ඩ යන්න වදිනව. නමුත් ‍වේගෙන් type කරන්න බෑ අපේ බාසාවෙ අකුරු යෙදෙන පිළිවෙල හිංදා. බොහොමයක් අනිත් අකුරු වලින් අඩුගානෙ අම්මා කියල වත් ලියන්න බෑ.

ඔහොම යනකොට තමයි "සියබස්"ලගෙ sinhalatamilkit කියන එක හම්බ උනේ. ඒක බාගෙන හයි කර ගත්තානං වැඩේ හරි. විජේ‍සේකර keyboard එක තියෙනවා විතරක් නෙමෙයි, ඕන අකුරක් පහසුවෙන් වගේම ලස්සනට type කර ගත්තහැකි. මුලින්ම කරන්න ඕන සිංහල keyboard එක හදා ගන්න එක. මම නං අකුරු ටික print කරලා කපලා අලෝගත්තා. ඕනෙ නං සිංහල අකුරු print කරපු keyboards වගේම අලවන්න පුළුවන් stickers විකුනන්නත් තියෙනවලු. අකුරු යෙදෙන පිළිවෙල මෙතනින් බලා ගත්තැහැකි.

ඊලඟට දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා. Microsoft word වගේ එකක type කරනවා නම් අකුර ඉස්කෝල පොත හරි මලිති වෙබ් හරි දෙකෙන් එකකට මාරු කරගන්න. ඊලඟට alt+shift ඔබලා බාසාව සිංහලට මාරු කරගන්න. Task Bar එකේ දකුණු පැත්තට වෙන්න මුලින්ම SI කියල වැටිල තියනවනං හරි. EN කියල වැටිල තියනවනං ඒකට කොටල හරි alt+shift ඔබලා හරි බාසාව සිංහලට මාරු කරගන්න.

දැං ඉතිං පට්ටාං ගන්න තමයි තියෙන්නෙ. හැබැයි ඳ,ඟ වගේ අකුරු ගන්න altgr එකත් එක්ක අදාළ අකුර ඔබන්න ඕනෙ. කු යන්නයි රු යන්නයි ගන්න ක යන්නයි ර යන්නයි එක්ක ගහන්න ඕනෙ ස යන්න සු යන්න කරන කෑල්ල. ඒ වගේම ම් හා ඕ අකුරු ගන්න නං ඒ අකුරු දෙකත් එක්ක ක යන්න අල් කරන කෑල්ල දාන්න. ළු යන්න ගන්න ළ යන්න එක්ක ස යන්න සු යන්න කරන කෑල්ල දාන්න.

මේකෙ තියෙන තවත් වාසියක් තමයි file එකක නම උනත් සිංහලෙන්ම දාගන්න පුළුවන් එක. වැඩේ නියමයි.

ඔච්චර තමයි. පොඩි අවුලකට තියෙන්නෙ මකන්න ගියහම සමහර වෙලාවට මැකෙන්නෙ ඕනෙ එක නෙමෙයි. එතකොට ආපහු අකුරක් දෙකක් type කරන්න වෙනවා. ඒක බොහොම සුළු දෙයක් තියෙන වාසිත් එක්ක බැලුවම.


කවුරුද මේ කැස්බෑවා?

ඔන්න ඉතිං කැස්බෑවා වැඩේට බැස්සා. කාලයක් තිස්සෙ සිංහල blog එකක් කරන්න තිබ්බ අසාව නිසා විතරක්ම නෙමෙයි, හිතේ පිරිල තියෙන දේවල් බෙදා හදා ගන්නත් ඕනෙ හිංදයි.

මගේ ජීවිතේ ගෙවෙන්නෙ මේ කැස්බෑව කියන පලාතෙ. අනිත් එක මම කවුද කියල හරියටම කිව්වොත් නිදහසේ කතා කරන්න ටිකක් අමාරු වෙනවා. ඒක හිංද මට කැස්බෑවා කියල හුරත‍ලේට වගේ කියන්නකො.

මගෙ සිංහල දැනීම ටිකක් මොට්ට වෙලා කියල කියන්නෙ ආඩම්බරෙන් නම් නෙමෙයි. සිද්ධ වෙන ව්‍යාකරන දෝස පෙන්නනවනං ඉතිං මට හදා ගත්තහැකි.

ඒ එක්කම කීයක් හරි හොයාගන්න පුළුවන්ද බලන්න google adsense ටිකකුත් දානවා. තරහ වෙන්න එපා හො‍‍ඳේ.